Press "Enter" to skip to content

නිරෝධායනයට පිරිස ගෙන ගිය බස් රථය ආපසු හැරෙව්වේ නැහැ

Share Button

ජනතා ප‍්‍රශ්න හමුවේ අසාර්ථක වී දැවැන්ත පරාජයකට ලක්වූ වත්මන් විපක්‍ෂය දැන්වත් පාඩමක් උගෙන නිවැරදිව කටයුතු කළ යුතු යැයි සෞඛ්‍ය ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා* පැවැසුවාය.
 
 රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විපක්‍ෂය විසින් ගෙන එනු ලැබූ කල් තැබීමේ විවාදයේදී අදහස් ප‍්‍රකාශ කරමින් ඇය මේ බව කීවාය.
 
 කල්තැබීමේ යෝජනාව සජබ පත්කළ මන්ත‍්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා
 
 කොවිඞ් වසංගතය පාලනය කිරීමට රජය අසමත් වී ඇත. එන්නත් කිරීමද අසාර්ථකය. සංචරණ සීමා නිසි ලෙස කි‍්‍රයාත්මක නොවීම නිසා ජනතාවගේ දෛනික ජීවනෝපාය මාර්ග අවහිර වෙලා. අධ්‍යාපනය කඩා කප්පල් වෙලා. අධ්‍යාපනය වෙනුවෙන් වෙනම රූපවාහිනි නාලිකාවක් ඇති කිරීමට අපොහොසත් වෙලා. ගංවතුර නිසා සියලූ ජනතාව අසීරුතාවට පත්වෙලා. කෘෂිකර්මාන්තය ගැන ගත් සමහර තීන්දු නිසා ගොවීන් අසරණ වෙලා. රසායනික පොහොර තහනම නිසා ඉදිරියේදී ආහාර හිඟයක් ඇතිවීමේ අවධානමකුත් ඇති වෙලා.
 
 දිනෙන් දින රට අරාජිකත්වයට යමින් පවතිනවා. දේශපාලන භේදයෙන් තොරව ජනතාවට සහන ලබාදීමේ යෝජනාවක් රජයට ඉදිරිපත් කරනවා.
 
 ජාතික ආරක්‍ෂාව සහතික කරන බව කියපු ආණ්ඩුව සෞඛ්‍ය ආරක්‍ෂාව විනාශ කරලා. අද රෝගීන්ට ඇඳන් නැතිවෙලා. නිදහසින් පසු ගෙවල්වල මිනිස්සු මැරෙන තත්ත්වයක් ඇතිවෙලා. ආණ්ඩුව කරන නිවේදන ජනතාව ගණන් ගන්නේ නැති තත්ත්වයක් ඇතිවෙලා.
 
 විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා
 
 යෝජනාව ස්ථිර කරනවා. ආණ්ඩුව ආපු ගමන් රජය ආදායම නැති කරගත්තා. ප‍්‍රශ්නය ඇතිවුණේ එතැන සිට. පස්සේ කොවිඞ් වසංගතය ආවා. මුලින්ම කොවිඞ් වසංගතය ගැන පියවර ගන්න කිව්වේ විපක්‍ෂ නායකවරයායි. එදා එතුමාට පාර්ලිමේන්තුවේ හිනා වුණා. කොවිඞ් එන විට රටවල් ගුවන්තොටුපළ වැහුවා. එයින් ඒ රටවල් බේරුණා. ඒත් අපි එවැනි තීරණයකට ගියේ නැහැ.
 
 ඒ වගේම එන්නත්කරණයට යන්න ප‍්‍රමාද වුණා. ඉන්දියාව සමඟ ප‍්‍රශ්න ඇතිකරගෙන ඇස්ට‍්‍රාසෙනිකා ලබාගැනීම ප‍්‍රශ්න ඇති කරගත්තා. නුවර ස්පුට්නික් එන්නත ගහන්න ලියුමක් ගන්නවා. එය ඉතා වැරදි කි‍්‍රයාවක්. හැම පැත්තෙන්ම රජය ෆේල්.
 
 වරාය සංවර්ධන ඇමැති රෝහිත අබේගුණවර්ධන
 
 කොවිඞ් වසංගතය සම්බන්ධව ආණ්ඩුව නිවැරදි කි‍්‍රයාපිළිවෙතක ඉන්නවා.
 
 මේ වන විට විපක්‍ෂය බලයේ සිටියා නම් ඇති වන තත්ත්වය හිතාගන්නත් බැහැ. ජනාධිපති වමට සිග්නල් දානකොට අගමැති දකුණට හරවා යනවා. එවැනි තත්ත්වයක් තිබුණේ.
 
 මේ වන විට ලක්‍ෂ 20 කට පළමු මාත‍්‍රාව ලබාදී තිබෙනවා. අද සිට සයිනොෆාම් දෙවන මාත‍්‍රාව ආරම්භ වෙනවා. අවුරුදු 20 ට වැඩි සියලූ දෙනාට එන්නත් ලබාදීම සිදුකරනවා. ඒ සඳහා සැලැස්මක් තිබෙනවා. විද්වතුන් රට වහන්න කිව්වා. අපි අත්‍යවශ්‍ය සේවා හැර සියල්ල නැවැත්වුවා. නිරෝධායන මධ්‍යස්ථානවල අත්‍යවශ්‍ය කටයුතු හැම දෙයක්ම සිදුවෙනවා. රජයක් ලෙස අපේ ආණ්ඩුව සියලූ වගකීම් ඉටුකරනවා.
 
 එක්ස්ප‍්‍රස් පර්ල් නැවේ ගින්නෙන් වූ හානිය ගැන වන්දි ගැනීමට අපි ඊයේ පළමු පියවර ගත්තා. ක්‍ෂණිකව වන්දිය ගතයුත්තේ ආපාදාවට පත්වූ අයයි.
 
 ගින්න නිවපු ආයතනවලට වන්දි ලබාගත යුතුයි. පස්සේ පරිසරයට වූ හානියට වන්දි ලබාගන්නවා. මේ සියල්ල විනිවිදභාවයෙන් සිදුවෙනවා.
 
 කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා
 
 ඊළඟ මහ කන්නයට රටේ ගොවියාට කිසිදු පොහොර හිඟයක් ඇතිවෙන්න දෙන්නේ නැහැ. පොහොර හිඟයක් ඇතිවී අස්වැන්න අඩුවුණත් වන්දි දෙනවා. ආහාර හිඟයක් ඇතිවෙන්න ඉඩ දෙන්නේ නැහැ.
 
 ආණ්ඩුවක් ලෙස අපට කළ හැකි උපරිමය අපි කරනවා. ප‍්‍රශ්නයක් විසඳන්න උදව් කරන්න. කාබනික පොහොර පාවිච්චි කරන ගහන්න එපා. වකුගඩු රෝගීන් පිරිලා. ඒ
 
 ගැනවත් බලන්න. මේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න එපා.
 
 ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී විජිත හේරත් මහතා (ජා.ජ.බ*
 
 සංචරණ සීමා දාලා තිබ්බත් 43 ක් මැරිලා. දවසට තුන්දහසක් විතර දිනකට පොසිටිව් වෙනවා. තුන්වන රැල්ල අනතුරුදායක පැත්තට ව්‍යාප්ත වෙනවා. වසංගතයක් එක්ක ප‍්‍රශ්න ගණනාවක් ඇතිවෙලා. වසරකට වැඩි කාලයක සිට අධ්‍යාපනය දරුවන්ට අහිමි වෙලා. ඔන්ලයින් ක‍්‍රමය හැමතැනටම සාර්ථක නැහැ. හැම පැත්තටම සාර්ථක අන්තර්ජාල පහසුකම් නැහැ. අධ්‍යාපනයේ අසමානතා ඇතිවෙලා. රූපවාහිනි මාධ්‍ය ඔස්සේ අධ්‍යාපනය ලබාදීමට ස්ථිර කි‍්‍රයාමාර්ගයක් ගත යුතුයි. රටටම අන්තර්ජාල පහසුකම් දෙන්න බැරිනම් රූපවාහිනි අධ්‍යාපන නාලිකාවක් ඇතිකරන්න.
 
 ගම්පහ දිස්ත‍්‍රික්කයේ සමහර ප‍්‍රදේශවල අවුරුදු 40 කට විතර පස්සේ ගං වතුර ඇතිවී තිබෙන්නේ අවිධිමත් සංවර්ධනය නිසයි. මේ
 
 ගංවතුර තත්ත්වය වැඩිවුණේ අධිවේගී මාර්ග හැදීමේදී ඇති කරගත් එකඟතාවන් අනුව නොවෙයි සිදුවී තිබෙන්නේ. කණු උඩ යනවා කියපු පාරවල් හදන්න පස් පුරවලා. ඒ නිසයි ගම්පහ නගරයත් යටවෙලා තිබෙන්නේ.
 
 නැව නිසා දැවැන්ත පරිසර ප‍්‍රශ්නයක් ඇතිවී තිබෙනවා. නැව පිළිබඳ දත්ත හංගලා කියලා තොරතුරු තිබෙනවා වහාම ආණ්ඩුව පියවර ගත යුතුයි.
 
 රසායනික පොහොර නැවත්වන්නේ වියදම ගැන බලලයි. එහෙම නැතිව වකුගඩු රෝගීන් ගැන හිතලා නොවෙයි. වහාම ක‍්‍රමානුකූලව පොහොර භාවිතය අඩු කළ යුතුයි. ආහාර හිඟයක් ඇතිවීමට ඉඩ තබන්න එපා.
 
 සෞඛ්‍ය ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි
 
 රසායනික පොහොර නවත්වා කාබනික පොහොර භාවිතය ඇති කිරීම වැළැක්වීමේ යම් අරමුණින් තමයි විපක්‍ෂය මේ යෝජනාව ගෙනවිත් තිබෙන්නේ. පිළිකා රෝගය නිසා 46 දෙනෙක් දිනකට මියයනවා. පිළිකා රෝගීන් වසරකට තිස්දහසක් විතර රටේ ඇතිවෙනවා. ඊට හේතුව බවට විශේෂඥයන් කියන්නේ රසායනික පොහොර භාවිතය හා විෂ රසායනික භාවිතය නිසා බවයි.
 
 අද ගෙනාපු යෝජනාව අවසන් කර ඇත්තේ රසායනික පොහොර ගෙන්වීම නැවැත්වීමේ යෝජනාව අහෝසි කළ යුතු බවයි. වසවිස ගෙන්වීම ප‍්‍රවර්ධනය කරන විපක්‍ෂයට මේ ගැන ප‍්‍රශ්න කරන්න අයිතියක් නැහැ. පොහොර සමාගම්වල ඒජන්තයන් බවට විපක්‍ෂය පත්වී අවසානයි.
 
 ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා (සජබ*
 
 රසායනික පොහොර ප‍්‍රශ්නය ඇති වුණේ 1994 ටත් පෙර සිටයි. පොහොර තහනම නිසා වී ගොවීන් ඉතා අසරණ වෙලා. එළවළු ගොවියා අනාථයි. තේ වගාව රටේ ආර්ථිකයට ශක්තියක්. පොහොර නැතිවුණොත් අවශ්‍ය ප‍්‍රමිතිය පවත්වාගෙන යා නොහැකියි.
 
 ගිය මැතිවරණයේදී කිව්වා ගොවියාට පොහොර නිකං දෙනවා කියලා. අද වන විට පවතින තත්ත්වය මොකක්ද ගොවියා අනාථ වෙලා.
 
 රාජ්‍ය ඇමැති ශෂේන්ද්‍ර රාජපක්‍ෂ මහතා
 
 රසායනික පොහොර භාවිතය අපේ රටට ආවේ විවෘත ආර්ථිකයත් සමඟයි. ආනයන බීජ මත යැපෙන ගොවිතැනක් ආරම්භ වූයෙත් ඒ සමඟමයි. ගුණයෙන් අඩු නමුත් බර වැඩි අස්වැන්නක් මෙමගින් ලැබුණා.
 
 නෙදර්ලන්තය ඇතුළු රටවල් කිහියක් ජෛව මූලාශ‍්‍රයන් පදනම් කරගෙන පොහොර භාවිතයට ගියා. එනිසා මේ පොහොර වලින් අපට වැඩි අස්වැන්නක් ලබාගත හැකියි කියා විශ්වාස කරනවා.
 
 රත්නපුර දිස්ත‍්‍රික් මන්ත‍්‍රීනි තලකා අතුකෝරල මහත්මිය (සජබ*
 
 රසායනික පොහොර තහනම ජනපි‍්‍රය තීරණයක් වෙන්න පුළුවන්. නමුත් එය ප‍්‍රායෝගික නෑ. පොහොර නැතිවීමෙන් තේ නිෂ්පාදනයට විශාල හානියක් වේවි. විශේෂයෙන්ම කෘෂි තේ නිෂ්පාදනයට මේකෙන් විශාල බලපෑමක් වේවි.
 
 පොහොර ලක්‍ෂ මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ තුනක් පමණ අවශ්‍ය වෙනවා. ඒ පොහොර නිසා තමයි තේ දල්ලේ නිෂ්පාදනය වැඩි වෙන්නේ.
 
 රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා
 
 මේ ලෝකයේ විශාල ජනතාවක් මේ වන විට නිරාහාරව සිටින යුගයක් ඇතිවී තිබෙනවා. බටහිර එන්නත් හදපු රටවල් තමයි අද කඩා වැටෙන්නේ. ඒ අයට තිබුණේ බටහිර වෛi ක‍්‍රමය විතරයි. අවුරුදු දහස් ගණනක් පැරණි අපේ හෙළ වෙදකම ගැන විපක්‍ෂය වචනයක් කතා කළේ නෑ. අතුරු ආබාධ නැති වෛi ක‍්‍රම අපට තිබෙනවා.
 
 රාජ්‍ය ඇමැති නාලක ගොඩහේවා මහතා
 
 නැවේ ගින්න දැනගත් මොහොතේ සිට ලංකාව නැව නිවන්න පටන් ගත්තා. වෙන රටවලත් සහාය ගත්තා.
 
 වෙරළ පිරිසිදු කිරීම් පසුදිනම ආරම්භ කළා. ටොන් 1075 ක් පමණ අපද්‍රව්‍ය බහාලූම්වල දාලා එකතු කරලා තියෙනවා. සමාජ ජාල දිහා බලල තීරණ ගන්නා එපා. වෙරළට ගිහින් බලන්න අපි කරපු වැඩ. අනතුරක් වුණාම හානියක් තියෙනවා. ඒ හානියට අවශ්‍ය වන්දි ලබාගත යුතුයි. ගිනි ගන්නකොටම වන්දි තීරණය කරන්න බැහැ.
 
 අපි හරියාකරව කි‍්‍රයාකරන්න අනුකමිටු 5 ක් පිහිටුවලා තියෙනවා. අධ්‍යයනය කරලා තමයි වන්දි ප‍්‍රමාණය තීරණය කරනු ලබන්නේ.
 
 ශ‍්‍රී ලංකා රජය උපරිමව කි‍්‍රයාකර තියෙනවා.
 
 රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මහතා
 
 ධීවර කර්මාන්තය කරන්නේ වෙරළාසන්නයේ නොවෙයි. ගැඹුරු මුහුදෙයි. ඉතා සුළු පිරිසක් පමණයි. අවට ධීවර කටයුතු කරන්නේ වෙරළ පාගපු නැති මිනිස්සු සමාජ මාධ්‍ය භාවිත කරලා තනිකර බොරු ප‍්‍රචාරය කරනවා. ධීවරයන්ට ගෙවිය යුතු වන්දි ප‍්‍රමාණ අපි ලබාදෙනවා.
 
 කුරුණෑගල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ජේ. සී. අලවතුවල මහතා (සජබ*
 
 අද රටට අවාසනාන්ත කාලයක් උදාවෙලා තියෙන්නේ. අහක යන නැව් ඇවිල්ලා ගිනිගෙන පරිසරය විනාශ කරනවා. දවසකට විශාල ප‍්‍රමාණයක් මිය යනවා. ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. එන්නත් විදීම දේශපාලනීකරණය වෙලා.
 
 රාජ්‍ය ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා
 
 නිවෙස්වල සිටින දරුවන්ගේ අධ්‍යාපනය නැංවීමට විශේෂ වැඩපිළිවෙළක් අපි සකස් කරමින් පවතිනවා. හැම ශ්‍රේණියකම එක චැනල් එක බැගින් වෙන් කර කි‍්‍රයාත්මක කරන්න අපි සැලසුම් කරමින් පවතිනවා.
 
 කුරුණෑගල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා (සජබ*
 
 සියයට සීයක් කාබනික පොහොර වගාවට යනවා කියලා කියන්න හොඳයි. ඒත් කිසිම රටක් පූර්ණව එවැනි දෙයක් කරලා නැහැ. ගොවීන් විශාල පිරිසක් අසරණ වෙලා. ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් තියෙනවා.
 
 පොහොර නිකං දෙනවා කියලා දැන් පොහොර නැති කරන්න යනවා. චීන අසූචිත් පොහොර ලෙස ලංකාවට ගේන්න හදනවා කියලා ආරංචියි.
 
 මහජන ආරක්‍ෂක කටයුතු ඇමැති සරත් වීරසේකර මහතා
 
 පස්සර නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගිය පිරිසක් තමා ආපසු හරවා යැවූ බවට කියූ කතාව බොරුවක්.
 
 රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතා
 
 එන්නත් ගෙනඒමේදී රජයේ පාර්ශවයේ කිසිදු ප‍්‍රමාදයක් සිදුවූයේ නැහැ.
 
 කොවැක්ස් පහසුකම යටතේ එන්නත් සියයට 20 ක් ලබාදෙන බව කිව්වත් අපට ලැබුණෙ ලක්‍ෂ දෙකහමාරක් පමණයි. ඉන්දියාවේ සේරම් ආයතනයේ ප‍්‍රශ්නය නිසා ලොවටම කොවැක්ස් පහසුකම යටතේ එන්නත් ලැබුණේ නැහැ. අපි එය ප‍්‍රමාද වන බවට සයිනොෆාම් හා ස්පුට්නික් එන්නත් ගෙන්වීමට සිදුවුණා. පාර්ලිමේන්තුව හා පිටතදී චීන භීතිකාවක් විපක්‍ෂය විසින් ඇති කළ නිසා යම් ප‍්‍රමාදයක් කරන්න අපට සිදුවුණා.
 
 ඇමැති චමල් රාජපක්‍ෂ මහතා
 
 ගංවතුරින් මියගිය හා හානිවූ සියලූ දේපල වෙනුවෙන් අවශ්‍ය ආපදා මුදලක් ලබාදෙනවා. ඒ සඳහා මූලික කටයුතු සිදුකර තිබෙනවා.
 
 පාර්ලිමේන්තුව ලබන 22 දා පෙරවරු 10.00 ට
 
 යළි රැස්වීමට නියමිතය.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *