Press "Enter" to skip to content

ක්‍රීඩා ආර්ථිකය ඩොලර් බිලියනයක් දක්වා වර්ධනය කිරීමට පියවර

Share Button

ඉදිරි වසර 5 තුළ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ආර්ථිකය ඩොලර් බිලියනයක් දක්වා වර්ධනය කිරීම තම ඉලක්කය බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ආර්ථික වශයෙන් වැදගත්කමක් නිර්මාණය කළ හැකි , රටට විදේශ විනිමය එක්කරගත හැකි ක්ෂේත්‍රයක් බවට ක්‍රීඩාව පත් කිරීමත්, ක්‍රීඩකයා ව්‍යවසායකයෙකු බවට පත් කිරීමත්, ක්‍රීඩාව හා බැඳුණු කර්මාන්ත දියුණු කිරිමටත් ඉදිරි කාලයේදී බලාපොරොත්තු වන බව නාමල් රාජපක්ෂ මහතා පවසාසිටියේය.

ක්‍රීඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ,

“අපගේ ඉලක්කය වන්නේ ඉදිරි වසර 5ක කාලසීමාව තුළ රටේ ක්‍රීඩා ආර්ථිකය ඩොලර් බිලියනයක් බවට පත් කිරීමයි. එය විදේශ විනිමය උපයන ආර්ථිකයක් බවට පත්කිරීමයි. එහිදී සංචාරක ව්‍යාපාරය, ක්‍රීඩා භාණ්ඩ, ඇඟලුම් සහ නිෂ්පාදන පිටරට යවන ක්ෂේත්‍රය හෝ විවිධ තරඟාවලි හරහා හෝ එය සිදු කිරීමට හැකියාව පවතින බව මම විශ්වාස කරනවා . එහිදී පෞද්ගලික අංශයත්, රාජ්‍ය අංශයත් එක්ව මෙම ගමන සාර්ථක කරගත හැකි බව මගේ විශ්වාසයයි.” යනුවෙන්ය.

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා සර්ෆිං සම්මේලනයේ සහයෝගිත්වයෙන් ශ්‍රී ලංකා ස්පෝර්ට්ස් රයිසන් ආයතනය මඟින් සංවිධානය කරන ජාතික සර්ෆිං තරඟාවලිය පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් මෙම මාධ්‍ය හමුව පැවත්විණි.

ඒ අනුව සැප්තැම්බර් මස 27 වැනිදාට යෙදෙන ලෝක සංචාරක දිනයට සමගාමිව මෙම මස 26 සහ 27 යන දිනවලදී ලොව පුරා මහත් සංචාරක ආකර්ෂණයක් දිනාගෙන ඇති ආරුගම්බේ වෙරළ තීරයේදී මෙම විවෘත ජාතික සර්ෆිං තරඟාවලිය පැවැත්වීමට නියමිතය.

මෙම තරඟාවලිය පිළිබඳ පසුගියදා පැවති මාධ්‍ය හමුව සඳහා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ලංකා ස්පෝර්ට්ස් රයිසන් ආයතනයේ සභාපති පී.ටී. වීරසිංහ සහ ශ්‍රී ලංකා රළ මත ලිස්සා යෑමේ සම්මේලනයේ සභාපති හිරාන් උක්වත්ත යන මහත්වරුද සභාභාගී වුහ.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *