Press "Enter" to skip to content

සතොස සුදු ලූණු වංචාව – වින්දිතයින්ටත් මරණ තර්ජන !

Share Button

2021 සැප්තැම්බර් මස මුල දී මහත් ආන්දෝලනයකට තුඩු දුන් ‘සතොස සුදු ලූණු වංචාව’ සම්බන්ධ සිද්ධියේ අධිකරණමය කටයුතු ක්‍රියාත්මක වෙමින් තිබියදී පවා, එම සිදුවීමෙන් අගතියට පත් පාර්ශ්වයට මේ වනවිට විවිධ පාර්ශ්වවලින් මරණීය තර්ජන එල්ල වන බවට වාර්තා වනවා.

මෙලෙස මරණ තර්ජන එල්ල වී ඇත්තේ සතොස වෙනුවෙන් මෙරටට සුදු ලූණු ආනයනය කළ සමාගමේ අධ්‍යක්ෂ අනුර අබේවර්ධනට සහ ජ්‍යේෂ්ඨ උපදේශක සංජීව බණ්ඩාරට යි.

මෙලෙස මරණ තර්ජන එල්ල වීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අදාළ ජ්‍යේෂ්ඨ උපදේශකවරයාගෙන් සිදු කළ විමසීමක දී ඔහු කියා සිටියේ, අධ්‍යක්ෂවරයාට සහ තමන්ට පළමුවරට මරණ තර්ජන එල්ල වූයේ, 2021 ඔක්තෝම්බර් මස 03 වැනි දින බවයි.

තමන් කිසියම් ‍රාජකාරි කටයුත්තකට කොළඹ – කොටුවට යාමට සිය මෝටර් රථය කොටුව ආසන්නයේ ඇති රථගාලක නවත්වා ඉන් පිටතට පැමිණෙමින් සිටියදී, වාහනයකින් පැමිනි නාඳුනන පුද්ගලයින් තිදෙනකු තමා අසළට පැමින, වත්තල අධිකරණයේ ගොනු කර ඇති නඩුව වහාම ඉවත් කර ගැනීමට කටයුතු කරන ලෙස තර්ජනය කළ බව ඔහු පවසා සිටියා.

එසේ නොවුණහොත්, සිය පවුලේ සාමාජිකයින්ගේ සහ දරුවන්ගේ ද ජීවිතවලට හානියක් සිදු විය හැකි බවටයි අදාළ පුද්ගලයින් තර්ජනය කර ඇත්තේ.

කෙසේ වෙතත් තමාට සහ සිය අද්‍යක්ෂ වරයාට මෙලෙස මෙම මරණ තර්ජන කර මාස කිහිපයක් ගත වී ඇති අතර, ඒ පිළිබඳ කොටුව පොලීසියට ද පැමිණිල්ලක් සිදු කර තිබුණ ද, මෙතෙක් අදාළ සැකකරුවන් හරි හැටි හඳුනාගැනීමට හෝ කිසිදු තොරතුරක් සොයා ගැනීමට පොලීසියට හැකි වී නැති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

මෙවන් පසුබිමකදියි, සිද්ධියෙන් අගතියට පත් වින්දිත පාර්ශ්වයට පෙරේදා එනම්, 11 වැනිදා යළිත් මරණ තර්ජනය කරමින් දූරකථන ඇමතුමක් පැමින ඇත්තේ.

මේ හේතුවෙන් අගතියට පත් පෞද්ගලික සමාගමේ පාර්ශ්වය විසින් මේ පිලිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අද (13) දිනයේ වින්දිතයින් ආරක්ෂා කිරීමේ අධිකාරියට පැමිණ සිටියේ අදාළ අධිකාරියේ සභාපති සුදත් ගම්ලත් විසින් ඔවුන් වෙත ලබා දුන් දැනුම්දීමකට අනුවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට හෙට (14) දිනයේදී ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද යාමට නියමිතයි.

මීට පෙර මෙම සුදු ලූණු වංචාව පිලිබඳ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව දිගින් දිගටම මෙම සිදුවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් ප්‍රකාශ ලබා ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කළ අතර, අවසානයේ දී මෙම වංචාව සිදු කළ ඉන්දියන් ජාතික ව්‍යාපාරිකයෙකු අත් අඩංගුවට ගැනුණා.

ඉන් පසු ඔහුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵලයක් ලෙසයි රුපියල් කෝටි 07කට අධික සුදු ලූණු කන්ටේනර් දෙකක් මිල දී ගෙන විකිණීමට ඔහුගේ පුත්‍රයා කටයුතු කළ බව අනාවරණ වූයේ.

ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉන්දියන් ව්‍යාපාරිකයාගේ පුත්‍රයා අත් අඩංගුවට ගනු ලැබුවේ, 2021 වසරේ ඔක්තෝම්බර් 22 වැනි දිනයි.

එම සැකකරු විසින් සුදු ලූණු කන්ටේනර් මිල දී ගැනීමට අදාළ කූඨ ලේඛන ද සකසා ඇති බව ද පසුව හෙළි වුණා.

ඒ අනුව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණේ, වංචාවට ආධාර අනුබල දීමේ චෝදනාව මතයි.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කළ යුතු බව දන්වමින් ඔක්තෝම්බර් මස 11 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කැබිනට් රැස්වීමේ දී උපදෙස් දුන් බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඒ කැබිනට් තීරණ දැනුම්දීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්.

එමෙන්ම, නොවැම්බර් මස 20 වැනි දින පාරිභෝගික කටයුතු අධිකාරිය ද ප්‍රකාශ ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

කෙසේවෙතත් මෙම වංචාව සම්බන්ධයෙන් සතොස නිලධාරින් සිව්දෙනෙකු අත් අඩංගුවට ගැනුණු අතර, ඔවුන් ඔක්තෝම්බර් මස 14 වැනි දින ඇප මත නිදහස් කෙරුණා.

මෙම වංචාව හේතුවෙන් ලංකා සතොස ආයතනය හරහා මහජනතාවට සහනදායී මිලට අලෙවි කිරීමට තිබූ රුපියල් ලක්ෂ 74ක් වටිනා සුදු ලූණු කිලෝග්‍රෑම් 54,860 ක් වංචනික ලෙස මිලට ගෙන තිබුණා.

මෙම සැකකාර ව්‍යාපාරිකයා සුදුලූණු තොගය ලබා ගැනීම සඳහා වැය කර ඇති මුළු මුදල රුපියල් විසි එක් ලක්ෂ හතලිස් පන්දහසක් බවත්, ඉන් දහසය ලක්ෂ හතලිස් පන්දහසක් ලංකා සතොස ආයතනයේ ඉහළ නිලධාරියකුටත් අනෙක් රුපියල් ලක්ෂ පහ බ්‍රෝකර්වරුන් දෙදෙනාටත් වශයෙන් බෙදී යන ආකාරයෙන් වැය කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළා.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *