Press "Enter" to skip to content

ඒ ආදරයට මම හැමදාම ගෞරව කරනවා

Share Button

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න ඉතාම ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පියෙක් විදිහට හේමාල් රණසිංහ හදුන්වන්නට පුළුවන්. ඔහුගේ නිහතමානී කම නිසාම ඔහුගේ ජනප්‍රියත්වයේනම් කිසිම අඩුවක් වෙලා නැහැ. කාලෙකට පස්සේ නැවත සිනමාශාලා විවෘත වීම නිසාම සිනමාව ගැන කතාබහ කරන්න සිංහල සිනමාවේ සිහින කුමරා හේමාල් රණසිංහව පහුගිය දවසක පුවත්පතක් විසින් කතා බහට එකතු කරගෙන තිබුණා. මම විශ්වාස කරන්නේ මේ කාල සීමාව පොදුවේ සියලුම ජනවර්ගයාට සොබාදහමින් ලැබුණු දඬුවමක් විදියට. මුළු ලෝකයේ සියලු දෙනාම තාමත් මුහුණ දෙමින් ඉන්න තත්ත්වයක් මේක. මේකට එකම විසඳුම විනයගරුක වීම. මම දකින්නේ මේ තත්ත්වයට මුහුණ දුන් ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව තාමත් අපි ඉන්නේ පිටුපසින්. මේ වෙද්දී තත්ත්වය පොඩ්ඩක් යහපත් අතට හැරෙමින් එන නිසා ඉදිරියට මිනිසුන් මීට වඩා වගකීමෙන් යුතුව විනයගරුකව වැඩ කරොත් බිඳවැටුණු හැම කර්මානත්යක්ම නගා සිටුවන්න පුළුවන් වෙයි.

ලෝකය දිහා බැලුවම මේ පැන්ඩමික් තත්ත්වය පවා ධනාත්මක විදියට අරගෙන වැඩකටයුතු කරගෙන යන තත්ත්වයක් අපිට පේනවා. අපේ රටේත් දැන් එවැනි තත්ත්වයක් ගැන අවධානය යොමු වෙමින් පවතිනවා. හැබැයි ඒක මේ නූතන ලෝකයට ගැළපෙන විදියටද කරන්නේ කියන එක සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. එහෙම කියන්නේ මේ තත්ත්වයට අපි මුහුණ දිය යුතු පිළිවෙළක් තියෙනවානේ. ඒක WHO එකෙන් සවිස්තරාත්මකව මුල ඉඳන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒවාට අනුකූලව කොහොමද අපි නිර්මාණ කටයුතු කරගෙන යන්නේ කියන ප්‍රශ්නය සහ අපි හදන නිර්මාණ ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන්නේ කොහොමද කියන ගැටලුව මට තියෙනවා. ඒ නිසා ජෛව බුබුල කියන සංකල්පය මතම නිර්මාණකරුවන් තමන්ගේ නිර්මාණ කටයුතු කළ යුතුයි සහ සිනමා ප්‍රේක්ෂකයාට නිර්මාණ ඉදිරිපත් කිරීමේදී ඔවුන්ගේ ආරක්ෂාව සඳහාත් ආදාළ ආයතන මගින් සියලුම ක්‍රියාමාර්ග ගත යුතුයි කියලා මම දැඩිව විශ්වාස කරනවා. මේ ගත වුණු අවුරුදු දෙකහාමාර ඇතුළත නිර්මාණ ගැන කල්පනා කරනවට වඩා ඒ ගැන කල්පනා කරන්න වුණා. එවැනි සැලැස්මක් තිබ්බා නම් අපිට අලුත් නිර්මාණ ගැන හිතන්න කාලය යොදවන්න තිබුණා. එහෙම වුණා නම් මීට වඩා හොඳයි.

මේ වසංගත කාලේ වුණත් මම චිත්‍රපට දෙකක රංගන දායකත්වයක් ලබා දුන්නා. එකක් සම්මානිත අධ්‍යක්ෂවරයෙක් වන අරුණ ජයවර්ධනගේ මාරියා කියන චිත්‍රපටය. මෙහි රංගනයෙන් එකතු වුණා මගෙත් එක්ක මහේන්ද්‍ර පෙරේරා, අශාන් ඩයස්, දසුන් පතිරණ, දර්ශන් ධර්මරාජ්, ප්‍රියන්ත සිරිකුමාර සහ සුරන් දසනායක කියන අපි හත්දෙනා. මේ චිත්‍රපටය මහ මුහුද මැද බෝට්ටුවක තමා රූපගත කිරීම් තිබුණේ. ඒ නිසා මේ තියෙන වාතාවරණය එක්ක රූපගත කිරීම් කරගන්න පුළුවන් වුණා. නමුත් මහ මුහුද මැද රූපගත කිරීම පහසු කටයුත්තක් නෙවෙයි. බොහොම ආමාරු කටයුත්තක්. එහි අත්දැකීම් බොහොමයක් තියෙනවා. ඉදිරියේදී චිත්‍රපට කිහිපයක්ම තිරගත වෙන්න තියෙනවා. ඒවා දැන් අවුරුදු ගණනාවක් තිස්සේ එන්න තියෙන චිත්‍රපට. එතන සම්පූර්ණයෙන්ම වැඩ අවසන් කරපු චිත්‍රපට 5ක් සහ තව බාගෙට වැඩ අවසන් කරපු චිත්‍රපට දෙකක් තියෙනවා. ඒ නිර්මාණ නම් කවදා කොහොම කෙරෙනවද කියලා නම් මට අවබෝධයක් නැහැ. නමුත් ඒ වෙනුවෙන් වැය කරපු කාලය සහ ශ්‍රමය පිළිබඳ පසුතැවීමක් තියෙනවා.

ඒ නිසා කලාකරුවන් විවිධ ක්ෂේත්‍රවලට යොමු වීම ගැන වරදක් කියන්න බැහැ. මටත් ඒ ප්‍රශ්නය ඒ විදියටම තියෙනවා. මමත් මේ ඉන්නේ මට පුළුවන්කමකට නෙවෙයි. මට ශක්තිය දෙන්නේ අපේ පවුලේ පුංචි ව්‍යපාරයක් තියෙන නිසා. එය ව්‍යාපාරයකට වඩා සේවයක් හැටියට මම දකින්නේ. මම පැවත එන්නේ ආයුර්වේද වෙද පරපුරකින්. 1940 ඉඳන් කරගෙන එන දෙයක්. මේ වෙනකොට ඒක ආයුර්වේද නිෂ්පාදන ආයතනයක් හැටියට පවත්වාගෙන යනවා. මදාරා කියන නමින්. ඒ නිසා මට තව ටික කාලයක් අල්ලගෙන ඉන්න පුළුවන්. ආර්ථික වාසි බලාගෙන මේ ඇතුළේ දේවල් කරා නම් ගොඩක් දේවල් කරන්න තිබුණා. මට ඕනේ වුණේ ගුණාත්මක නිර්මාණ අතින් යමක් කරන්න සහ විශේෂයෙන්ම ප්‍රේක්ෂකයන්ට විදින්න පුළුවන් නිර්මාණ කරන්න. මට ලැබෙන ප්‍රේක්ෂක ආදරය සිමාසහිත නැහැ. සිමා විරහිතව ලැබෙන ආදරයක් මට තියෙන්නේ. ඒ ආදරයට මම හැමදාම ගෞරව කරනවා. මේ කාලයේ මාස්ක් එක දාගෙන ගියත් ඒ ආදරය ඇස්වලින් හරි හොයාගෙන ළඟට ඇවිත් කතා කරනවා. ඉතින් ඒක මම වාසනාවක් හැටියට දකිනවා. ඒ ප්‍රේක්ෂක ආදරයට මගේ ආදර ගෞරවය අදත් හෙටත් හැමදාමත් මගේ හිතේ තියෙනවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

 

Share Button
More from වින්දනීය පුවත්More posts in වින්දනීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *